පුද්ගලික විශ්වවිද්‍යාල කොයිබටද?

ලංකාවේ විශ්වවිද්‍යාල ගැන පුංචි දෙයක් කියන්න හිතුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණ කරන අසරණ කොල්ලො කෙල්ලො දැකලයි.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය මුලුමනින්ම කුණු වූ ජරාජීර්ණ ආයතන පද්ධතියක්. මේ තුළ ඉන්න අති බහුතරයක් ආචාර්යවරුන් ඉතාම වැඩවසම් ආකල්ප සහිත පුද්ගලයන් කොටසක්. ලෝකයට මොන ප්‍රගතශීලි මතවාද පෙන්වුවත් තමන්ට එතරම් හිතෛශී නොවන (ගො‍ට්ට අල්ලන්නේ නැති) සිසුන්ගෙන් ඉතාම අමානුෂික විදිහට (exam අන්නලා, projects fail කරලා) පළිගන්න විකෘති මානසිකත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් තමයි මේ පද්ධතිය ඇතුලේ වැඩියෙන්ම සිටින්නේ.

60-70 ගණන්වල හා ඊට කළින් ලංකාවේ තිබුණු විශ්වවද්‍යාල පද්ධතිය ලෝකය සමඟ නවීකරණට නොවෙන්න ප්‍රධාන හේතුව JVP ඊනියා දේශපාලනයයි. එහෙම නොවී වඩාත් නිදහස් ආකාරයෙන් විශ්වවිද්‍යාල වලට හැසිරෙන්නට ඉඩ ලැබුණානම් ඒ කාලයේ ලංකාවේ විශ්වවිද්‍යාල‍ තිබුණු මට්ටම අනුව කලාපයේ ඉහළම තත්ත්වයේ විශ්වවිද්‍යාල බවට ලාංකික විශ්වවිද්‍යාල පත්වන්නට ඉඩ තිබුණා. දැන් කලාපයේ රටවල් හුඟක් අප පසු කර ඉදිරියට ගිහින්.

ඒක තහවුරු කරන්න වෙනත් සාක්ෂි ඕන නෑ. අද ලං‍කාවෙන් විදෙස් අධ්‍යාපනයට යන රටවල් කන්දරාව අතර තියෙන කලාපයේ රටවල් ටික ගැන බැලුවත් ඇති.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, නේපාලය හා දැන් බංග්ලාදේශයෙනුත් වෛද්‍ය උපාධි ඇතුලු අනෙකුත් බොහෝ උපාධි සඳහා අපේ රටේ ළමයි යනවා. මේ යන්නේ අපේ රටේ මුදල් පමණක් නොවෙයි.

ඉතාම තරඟකාරී විභාගයකට මුහුණ දීලා සමත් වුණත් දිස්ත්‍රික්කයෙන් මුල්ම දෙතුන් සියය අතරට එන්න බැරිවෙලා එයින් ඉච්ඡා භංගත්වයට පත් වුණු ළමයි තව දුරටත් දෙමාපියන්ගෙන් ඈත් වෙලා යාන්තම් පිරිමහගෙන අධ්‍යාපනය ලබන්න පුලුවන් පරිසරයක නොවිඳිනා දුක් විඳිමින් (සුලු පරිමාණ රැකියා යනාදියෙහි නිරත වෙමින්) තමයි හුඟක් යුරෝපයේ,ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්නේ. මේ හුඟ දෙනෙක් තමන්ගේ රට ගැන කළකිරීමෙන් ඉන්නේ. තරඟකාරි විභාගයකින් ලකුණු කීපයක් අඩු වුණ පළියට තමන්ගේ ජීවිතය professional level එකක ඉඳන් හුදු කාර්මික ශිල්පියෙකුගේ මට්ටමට දාගන්න බලකරන සමාජයක ඒ කළකිරිම ස්වභාවිකයි. ලෝකෙ පුරා දුවමින් ඉගෙන ගන්න වලිකන මේ දරුවන් රැකගෙන ඔවුන්වත් මේ ලෝකයේම දියුණු වෘත්තිකයන් කිරීමේ වගකීම අපේ රට හිතාමතාම පැහැර හරිමින් සිටිනවා. මේක දැවැන්ත ඛෙදවාචකයක්.

ඒ මදිවට වෛද්‍ය උපාධියක් එහෙම අරගෙන ආවොත් (ඒ එන්නේ මේක තමන්ගේ රට කියලා හිතන නිසා මිසක් වෙන රටවල් වල තමන්ට අවස්ථාවක් නැති නිසා නෙවෙයි.) තවත් ඉතාම අමාරු විභාග තියලා ඔවුන්ට වැටකඩුලු බඳිනවා. නිදහස් අධ්‍යාපනය නිසා පිනට වෛද්‍ය උපාධියක් කරලා (internship වත් නොකර) ඔස්ට්‍රේලියාවට සිංගප්පූරුවට යන වෛද්‍ය සිසුන් ඉන්න රටක උන්ට වැඩිය රට ගැන කැක්කුමක් මේ ළමයින්ට නෑ කියලා කාටවත් කියන්න පුලුවන්ද?

හැබැයි මේකට විසඳුම කිසිම ප්‍රමිතියකින් තොර පුද්ගලික විශ්වවිද්‍යාල නොවෙයි.

රාජ්‍ය විශ්ව විද්‍යාල වල දිගුවක් ලෙසට හෝ පූර්ණ හෝ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙසට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකි ආයතන ව්‍යුහයක් ස්ථාපිත කිරීමයි සරලම හා වඩාත්ම නිවැරදි විකල්පය.

එය වෛද්‍ය, ඉංජිනේරු, වාණිජ හා කළමණාකරණ මෙන්ම තාක්ෂණික අංශ ආවරණය ‍වන වඩාත් පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් වීම වැදගත්. (J.R. හිටියනම් මේ වෙන කොට විවෘත විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන වෛද්‍යා උපාධියකුත් ඇරඹිලා ‍තියෙන්න තිබුණා. අභියෝග වලට කොන්ද නවන්නේ නැති ඒ ‍වගේ දූරදර්ශී දේශපාලන නායකත්වයක් නැවතත් රටට ලැබිලා තියෙන නිසා නැවත මේ ගැටලුව විසඳන්න පුලුවන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.)

SLIIT එක ඇරඹීමෙන් පසු එතෙක් කල් රට පුරාම ව්‍යාප්ත වෙමින් තිබුණු කිසිම වැදගැම්මකට නැති යුරෝපීය (මූලිකව එංගලන්‍තයේ තුට්ටු දෙකේ උපාධි කඩ) හා ඔස්ට්‍රෙලියානු තාක්ෂණික ආයතන අනුබද්ධ ප්‍රමිතියකින් තොර ආයතන වලට අත් වූ ඉරණම දෙස බැලීමේදී මේ කාරණය වෛද්‍ය ඉංජිනේරු ඇතුලු අනෙකුත්
‍‍‍‍‍ ක්ෂෙත්‍රයන් වලටත් ව්‍යාප්ත කරන්න පුලුවන් ඉහත කී සියලුම ක්ෂෙත්‍ර ආවරණය වන විශ්වවිද්‍යාලයක් පිහිටවුවහොත්.

එවිට වඩාත් ලාභදායක මුදලකට උසස් ප්‍රමිතියකින් යුතු වූ උපාධියක් මේ දරුවන්ට ලබාගැනීමට හැකි වෙනවා ඇති.

අපේ රට නිදහස් අධ්‍යාපනය හා නොමිලේ අධ්‍යාපනය පටලවා ගැනීම (මේකට නම් C.W.W. කන්නන්ගර මහතා වගකිව යුතු ද මම දන්නේ නෑ.) මේ වතාවෙවත් නිවැරදි කරගත යුතුයි.

නිදහස් අධ්‍යාපනය යනු තමන් කැමති අයුරින් නිදහසේ අධ්‍යාපන කටයුතු කරගැනීමට ලැබීමයි. නොමිලේ අධ්‍යාපනය යනු ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලැබීමයි.

නිදහස් අධ්‍යාපනය සිසුන්ගේ අයිතියක් … නොමිලේ අධ්‍යාපනය විශාල බොරුවක් …

මොකද කිසිවෙකුට හැකියාවක් නැහැ පද්ධතියක් වශයෙන් නොමිලේ අධ්‍යාපනය පවත්වාගෙන යන්න. ලංකාවේ කෙරෙන්නේ රජය විසින් ජනතා බදුමුදල් ඒ සඳහා භාවිතා කිරීමයි. අපි වගේ දුප්පත් රටකට මේක විශාලසේවයක්. ඒකේ ආයේ දෙකක් නෑ. ඒත් මේ දෙක පටලවා ගැනීම විශාල වරදක්.

දැන්වත් මේ වරද නිවරද කරමු.

Follow

Get every new post delivered to your Inbox.